ආයුබෝවන්



Wednesday, April 14, 2010

දුයිෂේන්, කොබයාෂි, බ්‍රෙත්වේට් සහ මිලානි පියතුමා හරහා ඇදුරුකමට

"මම මගේ ගුරුතුමා වූ මිලානි පියතුමා ගැන ආඩම්බර වෙමි. මගේ ගුරුවරයා ද මා ගැන ආඩම්බර වෙයි. පාසලක සැබෑ හරය මෙය හැර වෙන කුමක්ද?"

මෙයට විසි වසරකට පෙරාතුව මා ඉතා කුඩා එකෙකු අවධියේ අම්මා ගෙදරට ගෙනාපු පොතක එහෙම තිබුණා. පොතේ නම දයාබර ගුරුතුමිය වෙතටයි. ඉතාලියෙ ගුරුවරුන්ගෙ කෙනෙහිලිකම් වලට මුහුණදුන්නු බාර්බියානාවෙ පාසැලේ අවුරුදු 16ක සිසුන් අට දෙනෙක් තමයි මේ පොත ලියල තිබුණෙ. අදටත් මම අදහන කියමනක් ඒක.

ඉතාම දයාබර ගුරුවරියක වු මගේ මව ඒකෙ තිබුණු සමහර කාරණා මා එක්කත් කතා කළා මට මතකයි. මගේ ජීවිතයේ පරමාදර්ශය මගේ අම්මා උනේ ඒ ඈත කාලෙදිමයි. ඒ නිසයි ඒ පොතේ උධෘත අදටත් මට කට පාඩම්. ජීවිතයේ අවස්ථා දෙකකදි ම ගුරුවරයෙකු වෙන්න තිබුණු අවස්ථා මම මග හැරිය. ඒත් මගේ මවගෙ අවසන් ගමන දා පැමිණි දහස් සංඛ්‍යාත සෙනග, සැබෑ ගුරුවරයෙකුට කොයිතරම් ශක්තියක් තියෙනව ද කියල පෙන්නුම් කළා. මට ඒ මොහොතෙදිත් මතක් උනා The Road Home චිත්‍රපටය. ඒක අති රමණීය ප්‍රේම කතාවක් වගේම ගුරුවරයෙකුගෙ ජීවිත කතාවක්. වයසට ගිය ගුරුවරයා මියගිය පසුව ඔහුගෙ බිරිදට උවමනා වෙනව තම සැමියාගේ දේහය නගරයේ සිට පා ගමනින් නිවසට ගෙන එන්න. දැඩි හිම පතනය මැද ඒක පහසු කටයුත්තක් නෙවෙයි. දේහය වාහනයකින් ගෙන යන්න ඇය කැමති නෑ. අන්තිමේ පුතා තීරණය තරනව කුලී ගෙවල මිනිසුන් අරගන්න. නමුත් සතයක්වත් නොගෙන දැඩි හිම පතනය මැද දේහය රැගෙන යන්න මිය ගිය ගුරුවරයාගෙ පැරණි ගෝලයො වැල නොකැඩි එන දර්ශනය ඇහැට කදුළු ගෙනෙනව. ඔහුගෙ මරණයෙන් පසුව වැසීගිය පාසැ‍ල යළිත් ඔහුගෙ පුතා ආරම්භ කරනව.

ගුරු ගීතයෙ දුයිෂේන් (දුයිෂේන් කියන්නෙ දුයිෂේන්ම තමයි. ගුරුතුමා හරි මහතා හරි කියල නොකීවට ඒක දැනෙනව.), හරි පුදුම ඉස්කෝලෙ කොබයාෂි ගුරුතුමා, ග්‍රීන්ස්ලේඩ් ද්විතීයික විද්‍යාලයෙ බ්‍රෙත්වේට් ගුරුතුමා (TO SIR WITH LOVE -පොත සහ සිනමාපටය ලංකාවෙ තියෙනව-)බාර්බියානාවෙ පාසලේ මිලානි පියතුමා........... (තාරේ සමීන් පාර් සිනමාපටයෙ එන චරිතත් මේ ගොන්නට එකතු කරන්න පුළුවන්. ඒක නරඹන කොට අදටත් ඇස් වලට කදුළු පිරෙනව.) මගේ මව තුළ මේ හැම කෙනෙකුම ජීවත්වුනු හැටි මට මතක් උනා. ළමයි දෙදෙනෙකුගෙන් පටන් ගත්තු කුඩා පාසලක පළමු විදුහල්පතිනිය වූ ඇයට වසර 11කදි ළමුන් 400ක් ඉක්මවන සිසු පිරිසක් බිහිකර ගන්නටත් ජාතික ඵලදායීතා සම්මානය දිනාගන්නටත් හැකිවෙන්නෙ ඒ නිසා.

මගේ සීයා විදුහල්පතිවරයෙක්. (මතක විදිහට ආච්චිත්.) අම්මත් අම්මගෙ අයියත් විදුහල්පතිවරු. තවත් මොනවටද බල බල ඉන්නෙ, පරම්පරාවෙ සේවය ඉදිරියට ගෙනියන්න ඕනැනෙ. මමත් දැන් ගුරුවරයෙක්. අල්තීනායිල, ටොට්ටොචාන්ල, පැමෙලාල, ඩෙනම්ල... මේ හැමෝම ජීවමානව හමුවෙනව. පාවුලෝ කොය්යොගෙ THE ALCHEMIST කියන පොතේදි ඔහු කියනව මිනිහෙක් එක හොද අරමුණක් වෙනුවෙන් හිටියොත් මුළු ලෝකෙම ඒක සාර්ථක කරගන්න ඔහු වෙනුවෙන් පෙල ගැහෙනව කියල. ඒක බොරුවක් නෙවෙයි. ඔව්. ඒ දරුවො වෙනුවෙන් මගෙ ජීවිතේ කැපවෙලා ඉවරයි. මට හිතෙන්නෙ මගේ මව වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකුම පූජාවත් එයයි.

6 comments:

  1. ඔබ ගුරුතුමෙක්ද..??
    බොහෝමත්ම සතුටුයි..දැන ගන්න ලැබුන එක එය..
    ආදරණීය ගුරුවරයෙක් වෙන්න..දරුවන්ට ..
    ඔබ දුෂ්කර සේවයේද?? තවමත්...
    මට එහෙම හිතුනා..
    කොහොම උනත් සුභ පැතුම්..!!!
    මට දැන් හොයා ගන්න පුලුවන් ඔබව..
    දැන් අර ගැටළුව නිරාකරණය වෙලාද??මට මෙතන සොයා ගන්න නම් අපහසු උනේ නැහැ...

    ReplyDelete
  2. ස්තුතියි නිමන්ති. ඔව්, දැන් මම ගුරුවරයෙක්. ජාතික පාසැලක් නිසා දුෂ්කර නැහැ. මම ඉගෙන ගත්ත පාසැලමයි. දැන් අර ගැටළුව නැහැ. මම ඒක නිවැරදි කර ගන්න හැටි හොයා ගත්තා. ස්තුතියි.

    ReplyDelete
  3. ඇත්තම වලාකුළු මම අඳුනගත්තෙ ඉස්කෝලෙදි නෙවෙයි. බ්ලොග් අවකාශයෙදි.

    ඒ නියම ගුරුවරයෙක් විදිහට, ශිෂ්‍යයො අඳුරගත්ත ගුරුවරයෙක් විදිහට.

    ඒකෙ ප්‍රතිඵලයක් තමයි උ/පෙ කරන්න යන අපිට අපි කවුද කියල අඳුනගන්න කරපු වැඩසටහන.

    මේකෙන් තවත් දුයිෂෙන්ල, කොබයාෂිල ඉන්නව කියල සරුයි, අනුරාධ සරුයි අපිට තේරුම් කරල දුන්න.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි දරුවෝ ප්‍රතිචාරයට. මේ තරම් සතුටුවෙන්න පුළුවන් සේවයක් තවත් නැහැ කියන දේ මේ දවස්වල අත්විඳිමින් ඉන්නෙ. මේ අවුරුදු 02 හොඳට වැඩ කරන්න. විශිෂ්ඨයෙක් වෙන්න සුබ පැතුම්!!!

    ReplyDelete
  5. මෙතන තියනව The Road Home වල තියන සංවේදිම කොටස.
    මුල ඉඳලනම් බැලුවෙ නෑ.
    පස්සෙ හොයාගෙන බලන්න ඕනෙ.

    http://www.youtube.com/watch?v=m1ynVgXWlls&feature=related

    ReplyDelete
  6. බොහොම ස්තුතියි චානු. මං ගාව film එක තියෙනව. මම ගෙනත් දෙන්නම්.

    ReplyDelete