ආයුබෝවන්



Wednesday, April 14, 2010

දුයිෂේන්, කොබයාෂි, බ්‍රෙත්වේට් සහ මිලානි පියතුමා හරහා ඇදුරුකමට

"මම මගේ ගුරුතුමා වූ මිලානි පියතුමා ගැන ආඩම්බර වෙමි. මගේ ගුරුවරයා ද මා ගැන ආඩම්බර වෙයි. පාසලක සැබෑ හරය මෙය හැර වෙන කුමක්ද?"

මෙයට විසි වසරකට පෙරාතුව මා ඉතා කුඩා එකෙකු අවධියේ අම්මා ගෙදරට ගෙනාපු පොතක එහෙම තිබුණා. පොතේ නම දයාබර ගුරුතුමිය වෙතටයි. ඉතාලියෙ ගුරුවරුන්ගෙ කෙනෙහිලිකම් වලට මුහුණදුන්නු බාර්බියානාවෙ පාසැලේ අවුරුදු 16ක සිසුන් අට දෙනෙක් තමයි මේ පොත ලියල තිබුණෙ. අදටත් මම අදහන කියමනක් ඒක.

ඉතාම දයාබර ගුරුවරියක වු මගේ මව ඒකෙ තිබුණු සමහර කාරණා මා එක්කත් කතා කළා මට මතකයි. මගේ ජීවිතයේ පරමාදර්ශය මගේ අම්මා උනේ ඒ ඈත කාලෙදිමයි. ඒ නිසයි ඒ පොතේ උධෘත අදටත් මට කට පාඩම්. ජීවිතයේ අවස්ථා දෙකකදි ම ගුරුවරයෙකු වෙන්න තිබුණු අවස්ථා මම මග හැරිය. ඒත් මගේ මවගෙ අවසන් ගමන දා පැමිණි දහස් සංඛ්‍යාත සෙනග, සැබෑ ගුරුවරයෙකුට කොයිතරම් ශක්තියක් තියෙනව ද කියල පෙන්නුම් කළා. මට ඒ මොහොතෙදිත් මතක් උනා The Road Home චිත්‍රපටය. ඒක අති රමණීය ප්‍රේම කතාවක් වගේම ගුරුවරයෙකුගෙ ජීවිත කතාවක්. වයසට ගිය ගුරුවරයා මියගිය පසුව ඔහුගෙ බිරිදට උවමනා වෙනව තම සැමියාගේ දේහය නගරයේ සිට පා ගමනින් නිවසට ගෙන එන්න. දැඩි හිම පතනය මැද ඒක පහසු කටයුත්තක් නෙවෙයි. දේහය වාහනයකින් ගෙන යන්න ඇය කැමති නෑ. අන්තිමේ පුතා තීරණය තරනව කුලී ගෙවල මිනිසුන් අරගන්න. නමුත් සතයක්වත් නොගෙන දැඩි හිම පතනය මැද දේහය රැගෙන යන්න මිය ගිය ගුරුවරයාගෙ පැරණි ගෝලයො වැල නොකැඩි එන දර්ශනය ඇහැට කදුළු ගෙනෙනව. ඔහුගෙ මරණයෙන් පසුව වැසීගිය පාසැ‍ල යළිත් ඔහුගෙ පුතා ආරම්භ කරනව.

ගුරු ගීතයෙ දුයිෂේන් (දුයිෂේන් කියන්නෙ දුයිෂේන්ම තමයි. ගුරුතුමා හරි මහතා හරි කියල නොකීවට ඒක දැනෙනව.), හරි පුදුම ඉස්කෝලෙ කොබයාෂි ගුරුතුමා, ග්‍රීන්ස්ලේඩ් ද්විතීයික විද්‍යාලයෙ බ්‍රෙත්වේට් ගුරුතුමා (TO SIR WITH LOVE -පොත සහ සිනමාපටය ලංකාවෙ තියෙනව-)බාර්බියානාවෙ පාසලේ මිලානි පියතුමා........... (තාරේ සමීන් පාර් සිනමාපටයෙ එන චරිතත් මේ ගොන්නට එකතු කරන්න පුළුවන්. ඒක නරඹන කොට අදටත් ඇස් වලට කදුළු පිරෙනව.) මගේ මව තුළ මේ හැම කෙනෙකුම ජීවත්වුනු හැටි මට මතක් උනා. ළමයි දෙදෙනෙකුගෙන් පටන් ගත්තු කුඩා පාසලක පළමු විදුහල්පතිනිය වූ ඇයට වසර 11කදි ළමුන් 400ක් ඉක්මවන සිසු පිරිසක් බිහිකර ගන්නටත් ජාතික ඵලදායීතා සම්මානය දිනාගන්නටත් හැකිවෙන්නෙ ඒ නිසා.

මගේ සීයා විදුහල්පතිවරයෙක්. (මතක විදිහට ආච්චිත්.) අම්මත් අම්මගෙ අයියත් විදුහල්පතිවරු. තවත් මොනවටද බල බල ඉන්නෙ, පරම්පරාවෙ සේවය ඉදිරියට ගෙනියන්න ඕනැනෙ. මමත් දැන් ගුරුවරයෙක්. අල්තීනායිල, ටොට්ටොචාන්ල, පැමෙලාල, ඩෙනම්ල... මේ හැමෝම ජීවමානව හමුවෙනව. පාවුලෝ කොය්යොගෙ THE ALCHEMIST කියන පොතේදි ඔහු කියනව මිනිහෙක් එක හොද අරමුණක් වෙනුවෙන් හිටියොත් මුළු ලෝකෙම ඒක සාර්ථක කරගන්න ඔහු වෙනුවෙන් පෙල ගැහෙනව කියල. ඒක බොරුවක් නෙවෙයි. ඔව්. ඒ දරුවො වෙනුවෙන් මගෙ ජීවිතේ කැපවෙලා ඉවරයි. මට හිතෙන්නෙ මගේ මව වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකුම පූජාවත් එයයි.

Tuesday, April 13, 2010

ගුරුතුමා සහ ගුරුතුමී පන්නා දැමූ සර්ලා, මැඩම්ලා සහ මිස්ලා

සිංහල බස වැනසෙමින් යන්නේ යැයි මුළු රටම කතා කරන්නට පටන් අරන් දැන් සෑහෙන කාලයක්. කෝ ඒත් නෑනෙ ප්‍රතිඵලයක්, දවසින් දවස වැඩිවෙනව මිසක්. මාධ්‍ය මගින් සිංහල විකෘති කරල ඉංග්‍රීසි කළවම් කරගෙන. කාලයක් තිස්සෙ කතා උනත් මේව නවත්තන්න නෑනෙ තවමත් කිසිම වැඩපිළිවෙලක්.

කව්රු මොනව කිව්වත් මේ ගැන ලොකුම වැඩක් කරන්න පුළුවන් පාසැලේ දි. ඒත් එතැනත් රජ කරන්නෙ කළවම් භාෂාව. උදේ ඉදල අපට ඇහෙන්නෙ...

ගුඩ් මෝර්නින් සර්
ගුඩ් මෝර්නින් මැඩම්
ගුඩ් මෝර්නින් මිස්
ප්‍රින්සිපල්
පීරියඩ් එකක්

දැන් ඔයාල හිතයි මට සිංහල උණක් හැදීගෙන එනවද කියල. ඒත් හිතන්න ජපන් බස ඉගෙන ගන්න අපේ දරුවෙක් ජපන් ගුරුතුමාට සර් කියනවද? නෑනෙ. එයාල ඒක කියන්නෙත් ජපන් බසින්. (සෙන්සෙ). අපේ මුළු ජීවිතයටම ගුරුහරුකම් දෙන කෙනාට කතා කරන්න අපට සිංහල වචනයක් නැද්ද? ගුරුතුමා සහ ගුරුතුමී කියන්න ලැජ්ජ හිතෙනවද?

දැනට අවුරුදු 10කට විතර උඩදි දුරකථන ඇමතුමක් අවසානයේ අපේ හුගක් අය කිව්වෙ ඉංග්‍රීසි වචන. (චෙරියෝ, බායි වගේ.) ඒත් දැන්..... හුග දෙනෙක් කියන්නෙ බුදු සරණයි කියල. මුල් කාලෙ ටිකක් නුහුරු වෙයි තමයි. ඒත් අහගෙන ඉන්න කොට මොන තරම් ලස්සනද?

ගුරුතුමා, ගුරුතුමී
දරුවන්ට වගේම ගුරුවරුන්ටත් මේ වචන මොන තරම් හැගීමක් ඇති කරනවද?

රජයේ අමාත්‍යාංශ වල දුරකථනයෙන් හලෝ නැතිව ආයුබෝවන් කියල ඇහෙන්නෙ චක්‍රලේඛයකින් නියෝග කළ නිසා.
එත් ගුරුතුමා, ගුරුතුමී කියන්න චක්‍රලේඛ ඕන නෑ.

අපි ටිකක් මේ ගැනත් හිතමු.